Article 06

http://www.divaina.com/2013/07/28/feature01.html

නිවන් මග පහන් කරවා
සැනසීමේ කුටියෙහි දොර ඔබම විවර කරගන්න


තුන් සිවුරත්, පාත්‍රයත් පමණක්‌ අයිති, හුදෙකලා කුටියක ගෙවෙන භික්‍ෂූත්වය මොනතරම් කුසලානිසංශයක්‌ දැයි මට සිතෙයි. වස්‌තුව, ධනය කියා භෞතික දෙයක්‌ රැකගන්නට වෙහෙසක්‌ නැත. භෞතිකත්වය මත රැඳුණු සමාජ තත්ත්වය පවත්වා ගැනීමේ වෙහෙසක්‌ නොමැත. පාත්‍රය රැගෙන ගෙපිළිවෙළින් පිඬුසිඟා වැඩි පමණින් ආහාරය නමැති මූලික අවශ්‍යතාව විසඳේ. මහණකම හිස්‌ අහස වගේ යෑයි අසා තිබේ. එය එතරම්ම නිදහස්‌ය. සරලය. සැහැල්ලුය. සුන්දරය.

සැබැවින්ම.....

එවන් මහණකමක්‌ ලැබීමට මොනතරම් කුසලයක්‌ තිබිය යුතුද.

එහෙත් මට පිං මදිය. අරහත් ධජය දැරීමට පිං මදිය. ලෝකයම 'පැවැත්මක' අරමුණින් නිමාවක්‌ නැති මහා අරගලයක යෙදෙද්දී, හුදෙකලා කුටියකට වී, නිසොල්මනේ 'නැවැත්මක' සුවය අත්විඳීමට තවම මට පිං මදිය.

නමුත් මට අවැසිය.

ගිහියෙකු ලෙසින් යෙදෙන්නා වූ මේ අනවරත අරගලය මදකට හෝ නවතා, හුදෙකලාව මේ සිත දෙස බලා සිටීමට මට අවැසිය. සිතේ ස්‌වභාවය හඳුනාගැනීමට මට අවැසිය. සිතට නැගෙන නැගෙන අරමුණ පසුපස ලුහුබඳින සිත එක අරමුණක දැහැන්ගත කිරීමට මට අවැසිය....

නමුත් මට තැනක්‌ නැත. ඒ සොඳුරු හුදෙකලාව මම කොහි ගිහින් හොයන්නද? නිසංසල වනපෙතක, හුදෙකලා කුටියක, මග වැඩූ කල්‍යාණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකගේ ගුරු උපදේශ සහිතව මේ සිත අවබෝධ කරන වැඩ පිළිවෙළේ යෙදෙන්නට ඇතිනම් මොන තරම් භාග්‍යයක්‌ද.

එහෙත් ඒ සඳහා සුදුසු පරිසරයක්‌ සොයාගැනීම ගිහියෙකුට පහසු නැත. ආරණ්‍ය සේනාසනයක හිස්‌වූ කුටියක ඒ සඳහා අහම්බෙන් මෙන් අවස්‌ථාවක්‌ ඇතත්, එහි වෙසීමේ ප්‍රමුඛත්වය භික්‍ෂුවට හිමිවන බැවින් එය එතරම් ප්‍රායෝගික නොවේ. ගිහි කාන්තාවකට එවැනි අවස්‌ථාවක්‌ කොහෙත්ම ලබාගත නොහැක.

ගිහියන්ට කණ්‌ඩායම් වශයෙන් භාවනාවේ යෙදීමට හැකි තැන් රටේ තැනින් තැන ඇති නමුත්, ඒ බොහෝ තැන්හී අප කාලසටහනකට අනුගත විය යුතුය. නැතහොත් එම ස්‌ථානයට ආවේනික භාවනා ක්‍රමයට යටත් විය යුතුය. භාවනාවට වීර්යය මද සිතකට, කමටහන් සොයන සිතකට එවැනි ස්‌ථාන අගනේය. එහෙත් කාලසටහන් ආදියෙන්ද හිස්‌ව සැබෑම හුදෙකලාවක, තමන් වැඩූ භාවනාව ප්‍රගුණ කිරීමට වුවමනා අයෙකුට එවැනි තැනක්‌ හොයාගැනීමට නොහැකි තරම්ය.

ගිහි ඔබටත්, මටත් පොදුවූ එම 'අහිංසක' අවශ්‍යතාව සපුරාදීමේ දැඩි වුවමනාවක්‌ අපට කලක පටන් දැනෙන්නට විය. අප යනු කළුතර 'සදහම් විජය පදනම' යි. කොටින්ම කිවහොත් එහි මහා පරිමාන පදනමක්‌ නැත. 'සදහම් විජය පදනම' යනු සැබැවින්ම ගුරු-ගෝල පදනමකි. වසන්ත කුමාරගේ නමැති ඉංග්‍රීසි බස උගන්වන ගුරුවරයා සහ ඔහුගේ ගෝල පිරිස එක්‌ව සිදුකරන මහා ශාසනික කාර්යයට නමක්‌ දේ නම් ඒ 'කළුතර සදහම් විජය පදනම'යි. මේ පදනමේ මුල මැද අග කොතැන ගත්තද එහි අරටුවක්‌ ඇත. ඒ වසන්ත ගුරුතුමාය. එතෙක්‌ මෙතෙක්‌ මා හට, ශාසනික උපකාරය අතින් එවැනි ධෛර්යයක්‌ සහිත පුද්ගලයෙකු හමුව නැත. ඔහු උගුර ලේ රස වනතුරු කෑගසා දරුවන්ට ශිල්ප දී උපයන මුදලින් අති බහුතරය ශාසනය සිව්පසය සපයාදීම වෙනුවෙන් වැය කරනු එදා මම ගෝලයකු ලෙසින් බලාහුන්නෙමි. තමන්ගේ නම සඳහන් එකදු පුවරුවක්‌ හෝ රහිතව මහා පරිමාන ශාසනික සේවාවන් ඉටුකළ මේ පුද්ගලයා ධර්මය චිරස්‌තිථිය පිණිස සිය කාර්යය ඉහළින්ම සිදුකර පින පමණක්‌ අනුමෝදන්වී ආපසු හැරී යන අයුරු මම බලාසිටියෙමි. ගෝලයන් ලෙස අපවද ඒ පුණ්‍ය කටයුතු හි යෙදවීමට වසන්ත ගුරුතුමා කටයුතු කළේය. විටෙක අපව මහා වන මැදට රැගෙන ගිය වසන්ත ගුරුතුමා ඒ වනයෙහි කුටියක හුදෙකලාව බවුන් වඩන, ගිහියෙකුට ලෙහෙසියෙන් හමුවිය නොහැකි බුදුපුතුන් මුණගස්‌වා ධර්ම සාකච්ජාවට අවස්‌ථාව සලසා දුන්නේය. අතිදුෂ්කර වන සෙනසුන්හී අවශ්‍යතාවන් සපුරාලීමට ශ්‍රමයෙන් අපව ශ්‍රමයෙන් දායක කරගත්තේය. සැබැවින්ම එදා ඉගෙන ගන්නා වයසේ සිටි අපට ශ්‍රමයෙන් හැරුණු විට මුදලින් එයට දායක වීමේ සවියක්‌ නොතිබිණි. ඒ සියලු කටයුතු සඳහා මුල්‍ය සවිය සැපයුවේ ගුරුතුමාය. විටෙක ඒ වෙනුවෙන් ඔහුගේ දේපළ විකිණෙන, උකස්‌ වන අයුරුද අපි දුටුවෙමු. ඒ මහා දාන පාරමිතාව දෙස අදහාගත නොහැකි සිතින් අපි බලා සිටියෙමු. මේ සඳහා ශ්‍රමයෙන් පමණක්‌ නොව, ධනයෙන්ද දායක විය යුතුයෑයි සිතූ අපි වසන්ත ගුරුතුමා සභාපති බවට පත්කර 'සදහම් විජය පදනම' බිහිකළෙමු. අප විසින් සිදුකරන ශාසනික කාර්යය පෙන්වාදී බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි වුණෙමු. පිං කැමැති ශ්‍රද්ධාවන්තයන්ට අපගේ කටයුතු වෙනුවෙන් මුදලින් දායක වීමට බැංකු ගිණුමක්‌ ඇරඹුවෙමු. අපේ කාර්යන් පිළිබඳ සෙස්‌සන්ට අවබෝධයක්‌ ලබාගනු පිණිස අප සාමාජිකයෝ http://sadahamvijaya.org/ නමින් වෙබ් අඩවියක්‌ ඇරඹූහ.

එතෙක්‌ ගුරුවරයකු සහ ගෝල පිරිසක්‌ විසින් සිදුකළ කාර්යය සියලු බෞද්ධ ජනතාවගේ වැඩ පිළිවෙළක්‌ බවට පත්කිරීමට අප කටයුතු කළෙමු. ඒ ඔස්‌සේ අප සිදුකළ කාර්යය කොපමණදැයි ඔබට බලාගැනීමට අවශ්‍ය නම් ඉහත වෙබ් අඩවියට පිවිසී බැලිය හැක. කිසිදු මනුෂ්‍ය පිරිසකට කිරීමට දුෂ්කර ශාසනික කාර්යයන් අප පිරිස අතින් අපූරුවට සිදුවිය. විටෙක සිරිපා ඉමේද, තවත් විටෙක විල්පත්තු මායිමේද, නැගෙනහිර සේරුවාද, තවත් අවස්‌ථාවක නකල්ස්‌ කැලය ආශ්‍රිතවද, තව අවස්‌ථාවක සිංහාරාජ වනන්තරය ඇසුරුකරගෙනද ආදී ලෙසින් මේ ශාසනික සංග්‍රහය මුළු රට පුරාම එකම ජවයකින් යුතුව අප සිදුකළේ කෙලෙසද කියා විටෙක අපටම අදහාගත නොහැකිය. එයට දෙවිවරු පවා උපකාර කරන්නට ඇතැයි සිතෙන තරමටම පුදුමය.

මේ සද්කාර්යයේදී 'දිවයින' ද අපට 'දෙවියකු' විය. අධ්‍යාත්මයෙන් පොහොසත් සමාජයක්‌ උදෙසා ඉහළින්ම කැපවූ මාධ්‍ය මෙහෙවරක යෙදෙන 'දිවයින' සදහම් විජය පදනමේ අප කාර්යයන් උදෙසා මුල්‍ය සවියක්‌ අත්‍යවශ්‍ය වූ අවස්‌ථා දෙකකදී ඒ සඳහා අවස්‌ථාව සලසා දී මේ උතුම් ශාසනික කාර්යයේ මාධ්‍ය සවිය බවට පත්විය. සදහම් විජය පදනමද 'දිවයින' ද සිදුකළ ඒ කාර්යයේ අහඹු ඵලයක්‌ ලෙසින් පසුකලෙක අපූරු සිදුවීමක්‌ සිදුවිය. ඒ 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' නමැති දහම් ලිපි මාලාව ඔබ අතට පත්වීමයි. සදහම් විජය පදනම විසින් දකුණේ පිහිටි එක්‌තරා ආරණ්‍යයක ස්‌වාමීන්වහන්සේලා වෙනුවෙන් දාන ශාලාවක්‌ ඉදිකිරීමට ගිය ගමනේදීය 'මහරහතුන් වැඩි මÍ ඔස්‌සේ' ලිපියට සටහන් සැපයූ ස්‌වාමීන්වහන්සේව හමුවූයේ. ඒ හමුවේ මහඟු ඵල සමස්‌ත සමාජයම අත්වින්දේය.

එවන් කාර්යයක්‌ ඉටුකළ සදහම් විජය පදනම සහ 'දිවයින' මෙවර එක්‌වූයේ මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ අරමුණ උදෙසාය. එනම් ගිහියකුට හුදෙකලාව භාවනා වැඩීමට සුදුසු ස්‌ථානයක්‌ නිර්මානය කිරීම පිණිසය. පිළිවෙත් පුරන සැදැහැවත් ගිහියකුට රමනීය සෙනසුනක භාවනාව වැඩීමට සුදුසු පරිසරයක්‌ තැනීම පිණිසය.

එම අදහස බොහෝ කලක්‌ අප සාමාජිකයන්ගේ සිත්සතන්හී තැන්පත්ව පැවතියද, අනෙකුත් ශාසනික යුතුකම් වලට අප මුල්තැන දුන් බැවින් වසර 8ක පමණ කාලයක්‌ එය සිත් හී කොණක නොනැසී පැවැති බලාපොරොත්තුවක්‌ පමණක්‌ම විය. අවු වැසි පිණි පීඩා නොතකා, කඳු හෙල් අතර ගල්,වැලි,ගඩොල්, සිමෙන්නි කර තබාගෙන යන වෙහෙස නොතකා, සතා සර්පයා පිළිබඳ ජීවිත අවදානම නොතකා අඛණ්‌ඩව සිදුකළ මෙහෙවර අවසන එම මෙහෙවරට දායක වෙමින් ධර්මයේ චිරස්‌තිථිය පිණිස ධනයෙන්, ශ්‍රමයෙන්, කාලයෙන් කැපකිරීම් කළ සැදැහැවත් ගිහි ඔබ වෙනුවෙන් කරනා යුතුකමක්‌ වශයෙන් අප සිත්හී කොණක පැවැති එම අදහස ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළෙමු.

ඒ අදහසෙහි වූ ශක්‌තිය නිසාදෝ එම අදහස ක්‍රියාත්මක කිරීමට සිතූ සැනින් අපට ඒ සඳහා ස්‌ථානයක්‌ හිමිවිය. ඒ අප සියල්ලන්ගේ කුසල විපාකයක්‌මය. එය සැදැහැවත් ගිහියකුගේ කුසල විපාකයක්‌ම යෑයි ඉඳුරාම සිතෙන තරමට එම ස්‌ථානය මනහරය. මතුගම පැලවත්ත නෙළුව මාර්ගයේ නෙළුව සිට පැලවත්ත දෙසට කිලෝමීටර 3ක්‌ පමණ පැමිණෙන විට හමුවන පිංකන්දහේන අතුරු මාර්ගයේ කිලෝමීටර 3 ක්‌ පමණ දුරක්‌ පැමිණි විට ඒ සොඳුරු ස්‌ථානය හමුවේ. නිල්වන් කඳුවළල්ලකින් වටවූ තුරු ලතාවන්ගෙන් අලංකෘත මේ නිසල පෙදෙස හැඳින්වෙන්නේ 'දනවල කන්ද ' නමිනි. සිත ප්‍රබෝධමත්වන, සිත නිවන, සංසිඳෙන මේ බිම 'පින්කන්ද වනසෙනසුන' ලෙසින්ද 'ශ්‍රී සම්බෝධි තපෝවන සෙනසුන' ලෙසින්ද හැඳින්වේ. කලෙක සංඝයාවහන්සේ විසින් පරිහරණය කළ මේ බිම පසුව නිසි සිව්පසයකින් තොරව වල් වැදීගියද පසුව දෙල්තොට සිරිධම්ම නම් බුද්ධ පුත්‍රයන් වහන්සේ තනිව වැඩ සිටිමින් මේ බිමට නැවත සිල් සුවඳ කැන්දූහ.

දශක තුනකට අධික කාලයක්‌ ආරණ්‍යගතව භාවනානුයෝගීව වෙසූ උන්වහන්සේa මේ සම්බෝධි තපෝවන පුදබිමේ සිටියදී 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' පොත කියවන්නට ලැබිණි. ඒ ඔස්‌සේ සදහම් විජය පදනම සම්බන්ධ කරගත් උන්වහන්සේ තමන් තනිව වසන මේ පුදබිම ගිහි පැවිදි දෙපාර්ශ්වයටම නේවාසිකව භාවනා වැඩීමට සුදුසු පරිසරයක්‌ ලෙසින් ගොඩනැගීමේ අදහස ඉදිරිපත් කළහ. එය අප සිත්හී මුදුන්වූ අදහස දැක කළ යෝජනාවක්‌ බඳුවිය. සදහම් විජය පදනමේ අපි ගොස්‌ එම පෙදෙස නිරීක්‍ෂණය කළෙමු. අප සිත්හී වූ අහිංසක බලාපොරොත්තුව මල් ඵල ගැන්වෙන තෝතැන්න එයම බව අපට පසක්‌ විය.

අපි දැනටම වැඩ ආරම්භ කර ඇත්තෙමු. මූලික අදියරේදී විහාර ගෙයක්‌, ගිනිහල්ගෙයක්‌, කුටි 10 ක්‌ සමග ජලය සහ විදුලිය සපයාගැනීම අප ඉලක්‌කයයි. ඒ සඳහා අප සාමාජිකයන්ගේ ශ්‍රමයට අමතරව රුපියල් ලක්‍ෂ 70ක පමණ මුදලක්‌ අවශ්‍ය වේ. 'දිවයින' සහ 'කළුතර - සදහම් විජය පදනම' ඒකාබද්ධ වැඩසටහනක්‌ ලෙස මෙම මුදල් සම්පාදනය කරගැනීමට අපි කටයුතු යොදා ඇත්තෙමු.

ඒ උත්සාහය අවසන නිකාය භේදයකින් තොරව සංඝයා උදෙසාද, විවේකීව භාවනාව වැඩීමට කැමති ගිහියන් උදෙසාද මෙතෙක්‌ මේ බිමෙහි ඉදි නොවූ අපූරු ධර්ම නිකේතනයක්‌ බිහිවනු ඇත. වනවාසී භාවනානුයෝගී අත්දැකීම් වලින් සපිරුණු දෙල්තොට සිරිධම්ම නාහිමියන් කළ්‍යාණමිත්‍ර ගුරුවරයා වශයෙන් එහි රැඳී සිටින බැවින් භාවනා උපදෙස්‌a අවශ්‍ය කෙනෙකු වේ නම් ඒ සඳහා උන්වහන්සේගේ උපකාරය හිමිවනු ඇත. අද ඔබ සොයනා තැන ඔබගේ කුසලානුභාවයෙන් හෙට ඉදිවෙනු ඇත.

අපි ඔබට ආරාධනා කරමු. පිංවත් ඔබ අප එකතුවෙන් ශාසනය උපකාර ලැබූ තැන අපමණය. උපකාර අවැසි අසරණ අහිංසක ගිහියන් උපකාර ලැබූ තැන් බොහොමයකි. ඉතින් අපට නොහැකිද අපි වෙනුවෙන්ම මේ සොඳුරු හුදෙකලාව ගොඩනගන්නට. ආරණ්‍ය බිම සකස්‌වන්නේ ඔබ වෙනුවෙන්මය. හුදෙකලාව සොයන ඔබගේ හෙට නවාතැන්පළ මෙයම වනු නොහැකිද?

මේ ස්‌ථානය ඉදිකිරීමෙන් නොනැවතී එහි භාවනානුයෝගීන්ට අවශ්‍ය සප්පාය පහසුකම් සපයා එය පවත්වාගෙන යැමේ කාර්යයද කළුතර සදහම් විජය පදනම විසින් ඉටුකරනු ලබයි. ඔබට ඉතිරිවන්නේ හුදෙකලාවේ උපරිම ඵලය නෙළාගැනීම පමණි.

ලක්‍ෂ 100 කට අධික බෞද්ධයන් සිටින මේ රටේ ඔවුන් අතරින් පිංවන්තයන් 7000 ක්‌ අයෙක්‌ රුපියල් 1000 බැගින් පිරිනැමුවහොත් මේ පින්බර සිහිනය සැබෑවනවා ඇත. ඒ රුපියල් 1000 ක මුදල විටෙක ඔබේ එක්‌ කෑම වේලකට, විනෝද ගමනකට, විලාසිතාවකට වැයවන මිලටද වඩා අඩු ගණනක්‌ වනු ඇත. ඔබේ ආයතනයේ එක්‌ සංග්‍රහ කටයුත්තක්‌ වෙනුවෙන් එවැනි කිහිපගුණයක්‌ මුදල් වැයවනවා ඇත. අපි ඔබට සිතන්නට යෝජනා කරමු. ඒ මුදල ඔබ කුසලය උදෙසා ආයෝජනය කරන්න. මෙලොව, පරලොව දෙකටම ලාභ ගෙනදෙන ආයෝජනය එයම වනු ඇත.

මෙම කාර්යය පිළිබඳ වැඩි විස්‌තර දැනගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0714464335 අමතන්න. මුදලින් දායක වේ නම් කළුතර ලංකා බැංකුවේ 'සදහම් විජය පදනම' නමින් ඇති අංක 7246535 දරන ගිණුමට බැර කරන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

No comments:

Post a Comment